Friday, July 2, 2010

ශිල්පය හා අල්පය...

යන්තම් හය හතර තේරෙන කරුණු දැකා,
දෙන්නම් බැටේ යන්නට කන උලපු මකා,
මේකයි මලේ ‍වෙන්නට යන දෙබර යකා,
දුවපන් බොලේ ආමඟ ඇති පියරු කකා.

නරිවාදම යනු කිමෙකැයි කියනු රිසී,
ඇසුවේ එයම ලැබුනා එහි තරම නිසී,
පටලා වෙන දෙයක් කිසිවක් නොබැඳි පිසී,
වේයන් නොම සිතැඟි තරහා කරනු කිසී‍.

ශිල්පය උගෙන දහ අත ගොස් දෙමවුපියෝ,
එවුවේ නුබව කරවන්නට සුදන් පියෝ,
අල්පය උගෙන ශිල්පය දා වලට ගියෝ,
වේදැයි එයින් සෙත් සවියක් හොයා පියෝ.

දහසක් වැඩ ඇතත් කරනට සුළු කාලේ,
අතකොළුවක්ව දුර්ජනයන් ගේ ආලේ,
කර කර හිස් දෙයක් සිතමින් ‍මේ කාලේ,
පෙන්නයි කියයි සත පහකට නැති මාලේ.

තේරුම ‍සකිය අහපන් යන එන අයගෙන්,
‍තේරුම කියයි යන එන අය නොම සුරුවෙන්,
නොම විය සකිය එක පදයට එක රිසියෙන්,
හැකිනම් කියව මෙහි අරුතක් එක සරියෙන්.
- වි.මු. චන්දන බණ්ඩාර

1 comment:

  1. මට හිතුන මේ කවි පේලියේ අන්තිම කවියේ පද විවරණයක් කරන්න. ඇත්තටම ඒක කරන්න ඕනෙ කියල හිතුනේ, ඒක තේරුනානං මට මේ ටික කියන්න වෙන් නැති නිසයි.

    ඕන්න එහෙනං ඒක අහල හිටියනං

    තේරුම ‍සකිය අහපන් යන එන අයගෙන්,
    - මේ කවි වල තේරුම ඔබ අසල සිටින, මග‍ තොටේ හමුවෙන අය සමඟ විග්‍රහ කිරීමට හැකිය
    ‍තේරුම කියයි යන එන අය නොම සුරුවෙන්,
    - ඒ ඔබ සමඟ කතා කරන අය විවිධ විග්‍රහ කිරීම කරනු ඇත
    නොම විය සකිය එක පදයට එක රිසියෙන්,
    - ‍මෙ‍ම කවි පන්තිය විවිධ ආකාරයෙන් විග්‍රහ කිරීමට අවස්ථාව ඇත
    හැකිනම් කියව මෙහි අරුතක් එක සරියෙන්.
    - විවිධ විග්‍රහ අනුසාරයෙන් ඔබට සිතෙන දෙය පැවසීමට මෙයින් ආරාධනා කරමි

    දැං තේරෙන්න ඇතිනේ... ඉතිං විග්‍රහ කෙරුවනං තමයි හොඳ..

    ReplyDelete

Followers